සුදීක්ෂා epi 10

Blog Image
By Ahinsa Stories      Novels (නවකතා)

අවසාන කොටස ❛❛ වාව්.... අනේ අවී... අපිට හැමදාම මෙහේ ඉන්න බැරිද ? මේ බංගලාව හරිම ලස්සනයිනෙ... ❜❜ සුධීක්ෂාගේ දෑස සතුටින් දිළිසුණා.... පෙරදින හවස නුවරඑළියට යාමට තීරණය කර තිබුණද අවිනාෂ්ට හදිසියේම ඇති වූ හිස කැක්කුමක් නිසා අද උදේ තමයි දෙන්නා නුවරඑළියට ආවෙ... නෑ නෑ.. තුන්දෙනා... අවිනාෂ්.. සුධීක්ෂා.. ශීනා කෙල්ල.. සුදීක්ෂා ශීනා එක්ක හරිම සතුටින් ඒ මේ අත දුව පනිමින් බංගලාව පුරාම හැඩ බලන දිහා අවිනාෂ් බලන් හිටියෙ පුදුම ලෝබකමකින්.. කොළඹ කොන්ක්‍රීට් ගොඩකට මැදි වෙලා ගෙවන ජීවිතයට වඩා මේ පරිසරය ගහ කොළ මල් එක්ක ගෙවෙන ජීවිතේ මොන තරම් සුන්දරයිද... ඒ අතරටම සුදීක්ෂා වගේ හුරුබුහුටි ගැහැණු ළමයෙක් වගේම ශීනා වගේ මළ කෝලමක් එකතු වුණාම ජීවිතේ හරි රහයි කියලා අවිනාෂ්ට හිතුණා... ❛❛ සුදීක්ෂා.... මැණික... පරිස්සමෙන් හොඳද.. බැන්ඩේජ් රිමූව් කළා කියලා තවම ඔයාට සීයට සීයක්ම සනීප නෑ... ශීනා දුවන වේගෙට ඔයත් දුවන්න එපා... ❜❜ අවිනාෂ්ගෙ ලස්සන අළු පාට ඇස් හරි ආදරයෙන් සුදීක්ෂා දිහා බැලුවා... ❛❛ ඒක නෙවෙයි අවී... මෙහේ වෙන කවුරුවත්ම නැද්ද? ❜❜ සුදීක්ෂා ඇහුවෙ අවිනාෂ් ඉඳගෙන සිටි බංකුවෙන් ඉඳගනිමින්... ❛❛ බණ්ඩාර කියලා මුරකාරයෙක් ඉන්නවා.. හවස් වෙද්දි එයි.. දැන් කොහේටහරි ගිහින් ඇති... එයා තමයි බැන්ග්ලෝ එක බලා ගන්නෙ... මම නම් මේ සෑහෙන කාලෙකින් මෙහේට ආවෙ...❜❜ ❛❛ ම්ම්ම්.. අපි කෝපි එකක් බොමුද? කාර් එක අරං ඇවිත් ඔයාට මහන්සිත් ඇතිනෙ.... ❜❜ සුදීක්ෂා කිව්වෙ අවිනාෂ්ගෙ උරහිස මත සිපුමක් තියලා දෑස පමණක් යාන්තමින් ඔසවා ඒ අළු පාට ඇස් දිහා බලාගෙනමයි.. ❛❛ ඔහොම බලන්න එපා... ❜❜ ❛❛ ඇයි? ❜❜ ❛❛ ගිලින්න හිතෙනවා.... ❜❜ ❛❛ පුළුවන්ද ? ❜❜ ❛❛ ඇයි බෑ කියලද හිතන්නෙ ? ශීනා... එන්න යන්න..❜❜ අළු ඇස් දඩබ්බරයා අවිනාෂ්, කෙල්ලව දෝතට ගත්තෙ ශීනාටත් කතා කරන ගමන්මයි... ❛❛ අනේ බිමින් තියන්නකෝ.... කොහේද උස්සං යන්නෙ..... ❜❜ සුදීක්ෂා මිටි කරගත් දෑතින්ම හැඩිදැඩි දඩබ්බරයාගෙ පපුවට පහර දුන්නා... රිදෙන්න නෙවෙයි.. ආදරේ⁣ට... ❛❛ බෑ.. බෑ... අද ගිලිනවා... ❜❜ දඟකාර ලෙස ඇසකුත් ඉඟි මරමින් කොල්ලා කිව්වෙ සුදීක්ෂාව විශාල සෝෆාවක් මතට දමමින්... කෙල්ලගෙ හීන් දිගු ඇස්වලට උඩින් එබුණු අළු පාට දඟ ඇස් ඉස්සරහ වේගවත් සුසුම් නැගු⁣ණෙ දෙදෙනාගෙම හෘද ස්පන්දනයන් ආසාවෙන් මුසපත් කරමින්.... මොහොතකට මුළු ලෝකයම අමතක වූවාක් මෙන් ඔවුන් ඔවුන්ගේම වුණේ දෑස් පියවී දෙතොල් එකිනෙක පැටලෙද්දීමය... මින්පෙර කිසිදින විඳ නොමැති සීතල දෙතොල් පහස සුදීක්ෂාගේ ගෙල තෙත් කරද්දී ඈ දෑතින්ම තව තවත් දඩබ්බරයව තමන් දෙසට ඇද ගත්තා... ඒ දඩබ්බර දෙතොල් ගෙලත් පසුකර හංස තුඩු සිපගනිද්දි කෙල්ලට සිහින් කෙඳිරියක්ද නැඟුණෙ නුහුරු නුපුරුදු හැඟුමක ගිලී සිටි නිසාමයි... නමුත් එකවරම සුදීක්ෂාගෙ මුහුණට දැණුනු උණුසුම් සුසුම් රැල්ලක් නිසා කෙල්ල බියටපත් වී කෑ ගසමින් එක්වරම නැඟිට්ටෙ අවිනාෂ්වත් තල්ලු කරමින්... ❛❛ ශීනා..... දෙයියනේ මම බය වුණු තරමක්... ❜❜ කෙල්ල කිව්වෙ ගැහෙන පපුව සුරතින් සිර කර ගනිමින්... ❛❛ අනේ.. අනේ ශීනා... හොඳම හරිය කෑවනෙ... ඉරිසියාව තමයි... ❜❜ අළු ඇස් දඩබ්බරයා නෝක්කාඩු කිව්වට ඒ මුහු⁣ණෙත් සිනහවක් ඇඳිලා තිබුණා... ❛❛ නෑ නෑ... ශීනා හොඳ ළමයා.. හොඳ පැටියා.. එන්න මං ඔයාට බිස්කට් දෙන්නම්... එන්න ශීනා අපි යං.... ❜❜ සුදීක්ෂා ශීනාවත් එක්කගෙන මුළුතැන්ගෙය දෙසට ඇවිදගෙන ගියේ අවිනාෂ්ටත් කෝල ලෙස ඇසක් ගසමින්... මුළු ලොවක් දිනූ පරිදි සැනසුමක් ඒ දඩබ්බර හිතට දැණුනා.... ****************************************** ❛❛ අවී... අවී.... අනේ එන්නකෝ... ඉක්මනට එන්නකෝ... ❜❜ ❛❛ සුදීක්ෂා... අනේ ඇයි මගේ මැණිකේ... ❜❜ සුදීක්ෂාගෙ කෑ ගැසීමෙන් බියපත් වූ අවිනාෂ් හඬ ඇසෙන කාමරය දෙසට වේගයෙන් දිව ගියේ ඇයට කුමක් හෝ අනතුරක් වී ඇත්දැයි සිතුණු නිසාමයි... ❛❛ මේ... ලස්සනයිද මම ? කාගෙද අවී මේ සාරි? ❜❜ ලස්සන රතු පැහැ දුහුල් සාරියකින් සුදීක්ෂා සැරසී සිටියා... සාරියට හොඳින් කැපී පෙනෙන ඇගේ හැඩ ළැම සහ උකුල අවිනාෂ්ගේ සිත මුසපත් කළත් එක් වරම ඒ හිතට නැඟුණේ සහේලි... සහේලි අඳින්නෙත් සාරිමයි.. ඒකත් විවිධ පාටින් දුහුල් සාරි... හරියට දැන් සුදීක්ෂා ඇඳන් ඉන්නවා වගේම.... ❛❛ කා.. කාගෙද... මං දන්නෙ නෑ...❜❜ ❛❛ දන්නෙ නෑ කියන්නෙ... මේක ඔයාගෙ ගෙදරක්නෙ අවී... ❜❜ සුදීක්ෂා අවිනාෂ්ගෙ අතෙහි එල්ලී හුරතල් වුණා... ඒ සිතෙහි අවිනාෂ් පිළිබඳව අබ මල් රේණුවක තරම්වත් සැකයක් නොමැති බවට හොඳම උදාහරණය එයයි.... ❛❛ අනේ මම දන්නෙ නෑ සුදීක්ෂා... ඇත්තටම දන්නෙ නෑ.. මෙහේට ආපු කාගෙහරි වෙන්නැති... ❜❜ ❛❛ ඔයා හැර වෙන කවුද මෙහේට එන්නෙ?❜❜ ❛❛ අපේ අම්මයි අප්පච්චියිත් ඉස්සර නිතරම මෙහේට ආවා... තව ඔය සවීනයයි රසාංගයයිත් එනවා ඉඳලා හිටලා.. උන් එක්ක ආපු කාගෙ හරි වෙන්නැති එක්කො... ❜❜ ❛❛ ඒ කියන්නෙ එයාලා කෙල්ලො එක්කං එනවද? ❜❜ ❛❛ ඔව් ඉතිං... කොල්ලොනෙ අනේ... ❜❜ ❛❛ එතකොට ඔයා ? ❜❜ සුදීක්ෂා අවිනාෂ්ගෙ අළු පාට දඩබ්බර ඇස්වලට එබුණා... ❛❛ අහන්න රත්තං... මේ ඇත්තමයි... මේ අවිනාෂ්⁣ ආදරේ කරපු ආදරේ කරන එකම කෙල්ල ඔයා... ඔයා විතරමයි.. අවිනාෂ්ගෙ ජීවිතේ වෙන කෙල්ලො නෑ... ඉන්න එකම පුංචි සුරංගනාවි ඔයා... ❜❜ දෑස දෙසම බලාගෙන දුන් දිවුරුම විශ්වාස කළ සුදීක්ෂා ලොකු සැනසුමකින් කොල්ලගෙ පපුවට තුරුළු වුණා... ශීනාත් දුරින් හිඳ මේ සියල්ල දෙස බලන් හිටියෙ හරි සතුටින් වගේ... ❛❛ කෝ ඉතිං.. කිව්වෙ නෑනෙ රතු සාරියට මං හැඩයිද කියලා... ❜❜ එකවරම එය මතක් වූ සුදීක්ෂා පපුතුරෙන් මදක් ඈත්ව ඇහුවා... ❛❛ අම්මෝ... හැඩයි කියන්නෙ ආයෙත් ගිලින්න හිතෙනවනෙ ඉතිං.... ❜❜ ❛❛ ඉතිං ගිලින්නකෝ... හැබැයි ශීනා මැද්දෙන් පනියි ආයෙත්... ❜❜ දෙන්නටම හිනා.. නම කියනවා ඇසුණු නිසාද කොහෙද ශීනාත් හරි හරියට මොන මොනවදෝ කිව්වා.... ❛❛ මේ...❜❜ ❛❛ ම්ම්ම්..... ❜❜ ❛❛ රතු අඳින්නෙ හනිමූන් ගියාමනෙ... ඉතිං යමුද... ❜❜ කොල්ලා හෙමින් හෙමින් හොර ගල් ඇහිලුවෙ දෑසින් කතා ගොඩාක් කියමින්... ❛❛ ආ... ඇත්තද... ඇයි මරන්න ගෙනියනකොටත් රතුනෙ අන්ඳන්නෙ.. මං දැක්කා අපේ කාමරේ ලාච්චුවෙ තියෙන තුවක්කුවත්.... ❜❜ ❛❛ ඔය කිව්වෙ කතාවක්... ගොං මෝඩි... අනෙක තුවක්කු කොහෙද ගොනෝ ලාච්චුවෙ.. ඒ පිස්ටල් එකක්... අපේ අප්පච්චිගෙ මං හිතන්නෙ... කෝ කෝ... එන්න යන්න නිදාගන්න.. මට හරි මහන්සියි... ❜❜ ❛❛ එහෙනම් ඔන්න නිදාගන්නම ඕන හොඳේ..... ❜❜ කෙල්ල කිව්වෙ තොලකුත් හපාගෙන සිනහව තද කරගනිමින්... ❛❛ අනේ මේ... අදනේ අපේ ෆ්රස්ට් නයිට්... එදත් මෙළෝ සිහියක් නැතුව නිදාගත්තා විතරනෙ... පෙරේදා... සින්දු කියපු දවසෙ...❜❜ ****************************************** ❛❛ ත.... ත//මුසෙ ? ය//කෝ... උ//ඹට මොළේ හොඳ නැද්ද... නැඟිටපං.... ❜❜ නින්දෙන්ම දෙඋර මතින් දැණුනු වේදනාව නිසාම දෑස් විවර කළ අවිනාෂ්ගේ ඇස ගැටුණේ තම වම් උරහිසට හිස තියාගෙන කහ පැහැ දුහුල් සාරියකින් සැරසී සිටින සහේලිවය... ඈව දවා අළු කරන තරමේ කෝපයක් සිතට නැඟුණද අවිනාෂ් රහසින් බැන වැදුණේ තම දකුණු උර හිසට හිස තබාගෙන සුවසේ නිදන සුදීක්ෂා අවදි වේයැයි බියෙනි... රැයෙහි ගත දැවටුණු රත් පැහැ දුහුල් සාරි⁣ය ලිහී යාන්තමින් ඒ ගත දැවටී තිබුණේ ඔවුන්ගෙ පළමු රාත්‍රියේ සිහිවටනද සමඟිනි... ඒ අසලින්ම ශීනාද නිසොල්මනේ වැතිරී සිටියා.... ❛❛ මට බෑ.... මේ උරහිස... මේ ඇඳ... මේ හැමදේම විතරක් නෙවෙයි ඔයාවත් අයිති මට... ❜❜ සහේලි අවිනාෂ්ගේ පපුවට තුරුළු වුණා... කෝපය ඉහ වහා ගිය අවිනාෂ් සහේලිව තල්ලු කරමින් තම අත ඇදලා ගත්තෙ අළු පැහැ දෑස ගිනියම් වෙද්දිමයි... සුවට නිදන සුදීක්ෂාගේ හිස හරි පරිස්සමට කොට්ටය මතින් තැබූ අවිනාෂ් ඇඳෙන් බිමට බැස්සෙ සහේලිවද අතින් ඇදලා ගනිමින්.... ❛❛ උ//ඹට මොකක්ද වෙන්න ඕන? ආ... කියපං... උ//ඹට පේනවා නේද මං ආදරේ කරන අහිංසක කෙල්ල නිදි... ඒ අහිංසකීට ගින්දරක් නොදී මෙතනින් පලයං.... නැත්නම්... ❜❜ අවිනාෂ් දත් කූරු කෑවා... ❛❛ නැත්නම් ? ❜❜ සහේලි කෝපයෙන් දැවෙන අවිනාෂ්ගේ දෑසටම එබුණා... ❛❛ නැත්නම් මම උ//ඹව මරලා දානවා... ❜❜ අවිනාෂ්ගේ රුදුරු තර්ජන හමුවේ සහේලි වියරුවෙන් හිනා වුණා.. ❛❛ උ//ඹ එක පාරක් මාව මැ//රුවා... අවිනාෂ් විදියට නෙවෙයි සවීන් විදියට.. සවීන් කියන්නෙත් උ//ඹමයි.. ❜❜ ❛❛ මො.... මොකක් ? සහේලි... ත... ත//මුසෙ මේ මොනවද කියන්නෙ? ❜❜ ❛❛ මේ මෙතන.. මේ ඇඳ ඉස්සරහා තියෙන ලී පොළොවෙ ලෑලි ගළවලා බලන්න.. මීට මාස පහකට කලින් ඔය අත් දෙකෙන්ම මාව වළදැම්මෙ.. ඒ මම ඔයාගෙ ඇත්තම නම දැනගත්තු දවසෙ... ❜❜ සහේලිගේ වදන් හමුවේ කිසිවක් සිතාගත නොහැකි වූ අවිනාෂ් පිස්සුවෙන් මෙන් සුදීක්ෂා දෙස බැලුවා... තවමත් ඈ පසු වූයේ සුව නින්දකය... ඒ මුහුණෙහි වූ සන්සුන් බව අවිනාෂ්ගෙ ළය වේදනාවට පත් කළා.. ශීනා පමණක් දෑස් විවර කර අවිනාෂ් දෙසම බලා සිටියා... පොළොවෙහි වූ ලෑලි එකින් එක ඉවත් කළ අවිනාෂ්ට දැකගත හැකි වූයේ.. කහ පැහැ දුහුල් සාරියකින් එතී තිබුණු සහේලිගේ දියවී ගිය සිරුරය... අවිනාෂ්ට සිදු වූ සියල්ල එකින් එක සිහිපත් වෙද්දී ඒ වන විට අවදිව සිටි සුධීක්ෂා බියෙන් හැඬුවද සහේලි නම් වියරුවෙන් ⁣මෙන් හිනැහුණා... එකවරම සහේලිගේ සිනහව හැඬීමක් බවට පත් වී අවිනාෂ්ව ඉල්ලමින් වැළපුණේ බලෙන්ම අවිනාෂ්ගේ පපුවට ගුලි වෙමිනි.. දෙවරක් නොසිතූ අවිනාෂ් එකවරම අසළ වූ ලාච්චුවෙන් ගත් පිස්තෝලයෙන් ⁣දෙවෙනි වතාවටත් සහේලිගේ කතාව අවසන් කර ලෑලි වසා දැමුවා... ❛❛ මගෙ මැණික... මම ඔයාගෙ විතරමයි.. මම සවීන් නෙවෙයි.. සහේලි කෙනෙක් නෑ.. මේ හැමදේම මායාවක් විතරයි.. ඔයා මගේ.. මගේමයි නේද ? අපි හැමදාම මෙහේටම වෙලා ආදරෙන් ඉමු රත්තරං.. ❜❜ සයනය මත හඬමින් සිටි සුධීක්ෂාව අළු ඇස් දඩබ්බරයා තුරුළු කරගත්තා... හැඩිදැඩි පිරිමි පපුවෙහි උණුහුමට ගුලි වුණු කෙල්ල ටික වේලාවකින් හැඬුම නැවැත්වූයේ අවිනාෂ් තමන්ට සැබැවින්ම ආදරේ බව දැණුනු පසුවයි... ඒ අළු පාට දෑස, කොපුල්, ගෙල , හැඩිදැඩි පපුව ඇගේ උණුසුම් සිපුම් වලින් සැනසුණා.. ❛❛ ආහ්.... රිදෙනවා කෙල්ලෙ... මේ.. පාරත් තියෙනවා නේද ? ❜❜ අවිනාෂ් තම ගෙල අතගාමින් කෙල්ලගෙ නහය මිරිකුවේ හරි ආදරෙන්... කෙල්ල මොනවදෝ කියන්න ගියත් එකවරම එය නැවතු⁣ණේ අවිනාෂ්ගේ ජංගම දුරකථනය නාද වූ හඬින්... ❛❛ හෙලෝ.... ❜❜ අවිනාෂ් ඇමතුමට සම්බන්ධ වුණා.. ❛❛ පුතා... මේ මමී කියනවා හෙට අනිද්දම ලංකාවට එන්න ඕනලු.. දැන් ඇතිලු යූ එස් ඒ හිටියා.. නෙක්ස්ට් වීක් අපි එනවා... හෙලෝ.... පුතා... රසාංග.... හෙලෝ.... ❜❜ අළු ඇස් දඩබ්බරයාගෙ අතින් ජංගම දුරකථනය ගිලිහුණා.. ඒ සමඟම ඔහුගේ ඇස ගැටු⁣ණේ විවෘතව තිබූ පසුම්බියෙහි වූ තම හැඳුනුම්පත... ❛❛ රසාංග රන්දුනු දහනායක.... ❜❜ එහි හොඳින්ම සටහන් වී තිබුණා... ඉදිරියෙන් වූ විශාල කණ්ණාඩිය දෙස බොඳ වූ දෑසින් බැලූ අළු ඇස් දඩබ්බරයා දුටුවේ තම සයනය මත සුධීක්ෂා නොමැති බවයි.. ඒ වෙනුවට ඇඳෙහි වූ සුද රෙදි රත්පැහැ ලෙයින් පෙඟී තිබුණා..... ගෙල අතගා බැලූ ඔහුට තම ගෙල මත සැපුම් සළකුණක්ද නොමැති බව දැණුනා... ඒ සමඟම ඇසුණු උඩු බිරුම් හඬින් පිටුපස බැලූ අළු ඇස් දඩබ්බරයා දුටුවේ ශීනා විසින් අපහසුවෙන් ඇද දැමීමට උත්සාහ කරන සුධීක්ෂාගෙ නිසල දේහයයි... ඊටත් යටින් කහ පැහැ දිරා ගිය සාරියක්ද යාන්තමින් පෙණුනා..... ඒ සමඟින්ම සිනහවක් නැගූ අළු ඇස් දඩබ්බරයා බිම වැතිරී මමී ඩැඩී කියමින් අත්පුඩි ගැසුවේ වයස අවුරුද්දක පමණ දරුවෙකු විලසිනි... සැබැවින්ම අවිනාෂ් සුධීක්ෂාට ආදරය කළා.. පණ මෙන් ආදරය කළා.. අවිනාෂ්ට සිටි එකම පෙම්වතිය සුධීක්ෂාම පමණි... දුන් පොරොන්දු එලෙසින්ම ඉටු කෙරුණා... ඒත්.... අවිනාෂ් යනු රසාංගගේම එක් පෞර්ශයක් පමණි... සවීන් නම් පෞර්ෂය සමඟ ප්‍රේමයෙන් වෙළුණු සහේලිගේ මතකය අවිනාෂ් නම් පෞර්ෂයට බලපෑම් නොකළා නම් අදටත් අවිනාෂ් සහ සුධීක්ෂා ආදරයෙන් හිඳිනු ඇත.. නමුත් සුධීක්ෂා නොමැති ලොවක අළු ඇස් දඩබ්බරයා යළි අවිනාෂ් නොවනු ඇත... සදහටම අවිනාෂ්ද මියෙනු ඇත.. එහෙත් තව දුරටත් අළු ඇස් දඩබ්බරයා හුස්ම ගනීවි.. බහු පෞර්ෂයන්ගෙන් පෙරට එන තවත් එක නමකින් !!!!! නිමි. _ මම අහිංසා 🌻

0 Comments

No comments yet. Be the first to comment!

Leave a Comment