0️⃣2️⃣ කොටස සුදීක්ෂාට මුළු රෑම නින්දක් නැති වුණේ අර ලස්සන අලු පාට ඇස් ඒ හිතේ දඟකම් කරපු නිසාමයි... මෙච්චර කාලෙකට පිරිමි පහසකටත් වෛ/ර කරපු කෙල්ලට දැන් මොනවා වෙලාද මන්දා... ආයෙත් ඒ ලස්සන අලු පාට ඇස් දෙක දකිනකං ඉවසුමක් නෑ... කෙල්ලගෙ පුංචි හිත ඒ ඇස් ළඟම නතර වෙලා... දවල් දවසමත් බෝඩිම් කාමරය ඇතුළට වෙලා ඒ ඇස් ගැනම කල්පනා කරපු කෙල්ලගෙ නින්ද රෑ පුරාමත් හොරා ගන්න ඒ ලස්සන අලු පාට ඇස් වලට පුළුවන් වුණා... පහුවදා හිරු එළිය වැටෙනකංවත් කෙල්ලට ඉවසුමක් නැති වුණේ චූං පාං ගන්න යන්න... ඇත්තටම පාං ගන්න නෙවෙයි ඒ ඇස් වලටත් හොරෙන්ම ඒ ඇස් දිහාම බලන්න... මොකද කලින් දවසෙ හවස වැස්ස නිසා වෙන්නැති ඒ දඩබ්බරයා ශීනාව ඇවිද්දවන්න ගියේ නෑ.... උදෙන්ම හොර ගල් අහුල අහුල පාරට වෙලා හිටපු කෙල්ල ඈතින් එන දඩබ්බරයව දැක දැකත් නොදැක්කා වගේ ෆෝන් එක ඔබ ඔබා හිටියෙ බලන්න දෙයක් ඇතුවට නෙවෙයි බොරුවට.... ❛❛ ආ මැන්ටලේ.... අද කාගේ ඇගේ හැප්පෙන්නද පාරට වෙලා ඉන්නෙ? ❜❜ කෙල්ලව අඳුනගත්තු දඩබ්බරයා හිනාවෙවී ඇහුවෙ හරිම කෙළිලොල් විදියට... ❛❛ පුදුම කෝලම්කාරයෙක් තමයි මෙයා නම්... ඇස් දෙක කරකවන ලස්සන... හිනාවෙන් කෙල්ලො අල්ලගන්න හරි දක්ෂයි වගේ...❜❜ සුදීක්ෂා තමන්ටම මුමුණගත්තා මිසක් ඇහෙන්න කිව්වෙ නෑ... ❛❛ හේ.. මැන්ටලේ... මොනවද කුටු කුටු ගාන්නෙ? ඇහෙන්න කියනවකො... ❜❜ ❛❛ කවුද... මැන්ටලේ.. ආ... තමුන් තමයි මැන්ටලේ... මට ලස්සන නමක් තියෙනවා...❜❜ සුදීක්ෂා මවාගත් තරහකින් කිව්වා... ❛❛ ඇත්තට... ආ කියමුකො බලන්න ඒ නම.. ලස්සනද කැතද බලන්න කියන්න එපැයි.. ❜❜ ❛❛ සුදීක්ෂා... සුදීක්ෂා සංකල්පනී ඒකනායක... ❜❜ සුදීක්ෂා කට රවුම් කර කර සම්පූර්ණ නමම කිව්වෙ තරහින් අහක බලාගෙන... හැබැයි ඒ බොරු තරහක්.... ❛❛ පොඩි ලස්සනකුත් තියෙනවා තමයි.. නේද ශීනා... මේ ආන්ටිගෙ නම ආන්ටි වගේම චුට්ටක් ලස්සනයි නේද ශීනා... අර අපේ ඒකනායක අංකල්ගෙ ෆැමිලි එකේ කවුරුහරිද දන්නෙත් නෑ... නේද ශීනා... ❜❜ ❛❛ මං ඔය කාගෙවත් පවුලක නෙවෙයි අනෙක බල්ලට තේරෙනවද ඔහොම කිව්වම.. බව් බව් ගාලාවත් කියන්න... ❜❜ සුදීක්ෂා තවමත් තරහින්... ❛❛ ඔක්කොමත් හරි මේ කට තමයි හොඳ නැත්තෙ... මෙයා බල්ලා නෙවෙයි ශී... නා... කවුද.... ශී.... නා..... කියනවා ශීනා කියලා.. ❜❜ ඒපාර නම් කොල්ලගෙ ලස්සන හිනාව වෙනුවට ඇස් දෙකේ තිබුණු නපුරු පාටට සුදීක්ෂාට බයත් හිතුණා... ❛❛ හරි හරි සොරි... ශීනා... මැඩම් ශීනා... ❜❜ සුදීක්ෂා බිය නොපෙන්වා ඉන්න උත්සාහ කළා... කොල්ලා තව මොනවදෝ කියන්න කට හැදුවත් කියාගන්න වුණේ නෑ.. ඒ කොහේදෝ ඉඳලා එකපාරටම රණේගෙ චූං පාං ත්‍රීවිල් එක ඇවිත් සුදීක්ෂා ඉස්සරහින් නතර කරපු නිසයි... රණේ කොල්ලගෙ උඩ ඉඳන් පහළටම රවලා බලපු නිසාමද මන්දා කොල්ලා සුදීක්ෂා දිහාවත් නොබලම යන්න ගියේ ශීනාවත් වේගයෙන් ඇදගෙනමයි.... ❛❛ ඒ කවුද සුදු නංගි? අඳුනන එකෙක් නෙවෙයි නේද? ❜❜ රණේ සැරෙන් ඇහුවෙ එයා හරියට සුදීක්ෂාගෙම අයියා වගේ... ❛❛ නෑ අයියෙ... හැමදාම උදේ හවස දකිනවා අර එහා ලේන් එකේ කවුරු හරි මං හිතන්නෙ... ❜❜ සුදීක්ෂා පැවසුවේ වරදක් කරලා අහුවුණු පොඩි එකෙක් වගේ බියපත් දෑසින් බිම බලාගෙනමයි.... ❛❛ එහා ලේන් කිව්වෙ වී අයි පී රෙසිඩන්ස් ද? ❜❜ ❛❛ ඔ.. ඔව් අයියෙ.. ❜❜ ❛❛ මොනවද දැන් ඌ කියන්නෙ? ❜❜ ❛❛ එහෙම මොකුත් කිව්වෙ නෑ.. මේ.. පාං ගන්න ආවද ඇහුවා.. එයා ශීනා එක්ක ඇවිදින්න යනවා කිව්වා.. එතකොටම තමයි අයියා ආවෙ.. ❜❜ ❛❛ කවුද ශීනා ? ❜❜ ❛❛ බල්ලා අනේ බල්ලා.... ඇයි ඔච්චර ප්‍රශ්න අහ අහ සැර දාන්නෙ මට? ❜❜ ❛❛ මේකයි සුදු නංගි... සහෝදරියොම තුනක් ඉන්න පවුලෙ එකම කොල්ලා විදියට ඔයාවත් මට පේන්නෙ මගේම නංගි වගේ... සුදු නංගි තවම මේ කොළඹට අලුත්නෙ... මේවැයි එවුන් බලන් ඉන්නෙම ඔයා වගේ ලස්සන අහිංසක පුංචි කෙල්ලන්ව ඩැහැගන්න... ඉතිං නංගිට එහෙම වෙනවා බලන්න අයියෙක් විදියට මට පුළුවන් ද කියන්නකො? ❜❜ රණේ ඇස අග රැඳි කඳුළු බිඳකුත් පිහදාගත්තෙ සුදීක්ෂා බලන් ඉද්දිමයි.... ❛❛ අනේ මං ඒක දන්නවා අයියෙ.. අයියා මට හරී ආදරෙයි කියලා මං දන්නවා.. මටත් අයියා මගේම සහෝදරයෙක් වගේ.. අම්මා තාත්තා අයියා අක්කා කියලා කවුරුත්ම නැති අසරණ මට මේ කොළඹ බයක් නැත්තෙ අයියා නිසාමයි... ඇත්තමයි ඔයා නම් ඊළඟ ආත්මෙ මගේම අයියා වෙන්න ඕන... ❜❜ සුදීක්ෂා රණේගෙ දෑස දෙසම බලාගෙන කිව්වෙ අවංකවමයි.... ❛❛ ම්ම්ම් සුදු නංගි බය නැතුව ඉන්න.. ඉස්සරහට එන්නෙ නංගිගෙ හොඳම කාලෙ.. සම්පත් මහත්තයා නංගිව මලක් වගේ පරිස්සමට බලාගනියි... ❜❜ රණේගේ දෑසෙහි දිළිසුමට හේතුව නම් සුදීක්ෂාට තේරුණේ නෑ.... ❛❛ මලක් වගේ? කවුද අයියෙ සම්පත් මහත්තයා කියන්නෙ? ❜❜ සුදීක්ෂා ඇහුවෙ කුතුහලයෙන්.... ❛❛ අයියෝ... සම්පත් මහත්තයා කියන්නෙ ළමයෝ සෙනේ ඇපරල් එකේ චෙයාමන්... ❜❜ ❛❛ ආ.... අර අයියා මට ජොබ් එකක් අරං දෙනවා කියපු කොම්පැනියෙ ලොක්කා... ❜❜ සුදීක්ෂාගෙ මුහුණෙ අහිංසක සිනහවක් ඇඳුණා... ❛❛ ඔව්... ඔව්... එයා තමයි.. මෑන්ට මං කියලා තියෙන්නෙ සුදු නංගි මගෙම නංගි වගේ කියලා... ඒ හින්දා ඇස් දෙක වගේ පරිස්සම් වෙන විදියෙ රස්සාවක් දෙන්න කියලා... සම්පත් බොසා මං කිව්වොත් ආයෙ නොකරන දෙයක් නෑ...❜❜ රණේ තමන් ගැනම වර්ණනා කරගත්තෙ හරිම ආඩම්බරයෙන්... ❛❛ ඒ සර් අයියත් එක්ක එච්චරටම හිතවත්ද? ❜❜ සුදීක්ෂාගේ දෑස් පුදුමයෙන් විසල් වී තිබුණා... ❛❛ නැතුව... ඉඳලා හිටලා හවසට හවසට මාත් එක්ක සෙට් වෙනවත් එක්ක මිනිහා...❜❜ ❛❛ එහෙමද.... ❜❜ ❛❛ ආයෙත් අහලා.... ❜❜ ❛❛ මේ අයියෙ ඒක නෙවෙයි... හෙට දැන් හරියටම කීයටද අපි එතන ඉන්න ඕන? ❜❜ ❛❛ ඒක අහගන්න ඊයෙ ඉඳලම මං මිනිහට ගන්න ට්‍රයි කරනවා කරනවා මේ යකා එක විනාඩියකට ආන්සර් කරන්නෙ නෑනෙ සුදු නංගි... බිසී ඇති හොඳටම... අපි වගේයෑ... බිස්නස් කීයක් බලන්නද... මං අදත් අරං බලලා ආන්සර් නොකළොත් හෙට උදේම මගෙ රස්සාවත් මග දාලා කුකුළා අතේ අරංම බොසාගෙ ගෙදරටම ගිහින් අහලා බලන්නම්කො සුදු නංගි වෙනුවෙන්....❜❜ රණේ පැවසුවේ සුදීක්ෂා දෙස සැනසුම් සහගත බැල්මක් හෙලමින්... ❛❛ අනේ එහෙම ඕන නෑ අයියේ.. වැඩේ අපේ වෙච්ච එකේ වෙලාව කීය වුණත් මොකද දවල් කෑමෙන් පස්සෙ කිව්වා නම් අපි දොළහ එක වෙනකොට එතන ඉමු... කීයට හරි රෑ කෑමට කලින් අපිව ඇතුළට ගනියිනෙ... අයියට වෙන වැඩ තියෙනවා නම් මාව ඒ සර්ගෙ ඔෆිස් එක ගාවින් දාලා යන්න... මම ඉඳලා වැඩේ කරගෙන එන්නම්... ඇවිත් අයියට විස්තරේ කියලා කෝල් එකක් දෙන්නම්.... ❜❜ සුදීක්ෂා කල්පනාබර දෑසින් රණේ දෙස බැලුවා.... ❛❛ සුදු නංගි කියන කතාවත් හරි රස්සාව ඕන අපිට එකේ රස්සාව දෙන්නෙ එයා නම් අපි ටිකක් රස්තියාදු වුණාම මොකද... සුදු නංගි ලෑස්ති වෙලා ඉන්නකො.. හරියටම එකොළහමාරට මම මෙතනින් ඔයාව ගන්නවා.. කීය වෙනකං හරි ඉඳලා වැඩේ කරගෙනම තමයි මං ආයෙ සුදු නංගිව මෙතනින් බස්සන්නෙ... ❜❜ රණේ සුදීක්ෂාට පොරොන්දු වුණා.... ❛❛ එහෙම කමක් නැද්ද අයියෙ? ❜❜ ❛❛ ඕක මොකක්ද.. මහ දෙයක්යෑ... අයියා කෙනෙක් විදියට සුදු නංගි වෙනුවෙන් මට මොනවා කරන්න බැරිද.... ❜❜ රණේගේ වචනවල තිබුණු ආදරය දෑස් වල නම් නොතිබුණු බව සුදීක්ෂා දුටුවෙ නැහැ... හරි හමන් ආදරයක් කරුණාවක් කිසිදින විඳ පුරුදු නැති අහිංසකී රණේගේ වචන විශ්වාස කළා.... ❛❛ හරි අයියෙ එහෙනම් මම හෙට හරියටම එකොළහමාර වෙද්දි මෙතන ඉන්නම්.... ❜❜ ❛❛ හරි සුදු නංගි... මේ ඒක නෙවෙයි හොඳට මතක තියාගන්න ඔය එහා ලේන් එකේ මහ විසාල ලස්සන ගෙවල් ඇතුළෙ ඉන්න මිනිස්සුන්ගෙ කඳ බඩ උස මහතට සුදට හැඩට තිබුණට උන්ගෙ හිත් සුදු නෑ... වත්ත පිටිය සුද්ද කරන, බල්ලො නාවන එකාගෙ ඉඳලම අමු යක්කු... ඒක විතරක් මතක තියාගන්න... මට වැදගත් මොන දේටත් වඩා සුදු නංගිගෙ පරිස්සම විතරයි... තේරුණාද....❜❜ ****************************************** ❛❛ මේ මොකද බං මේ ගවුම් කෑලි ටික සේරම ඇඳ උඩ තුනී කරගෙන? ❜❜ ස්පා එකේ වැඩ අවසන් වී හවස පැමිණි බෝඩිමේ අක්කා සුදීක්ෂාගෙන් ඇහුවෙ කම්මුලේ අත ගහගෙනමයි... ❛❛ හෙට අර ඉන්ටවීව් එකට යන්න ඕනනෙ නිල්මිණී අක්කෙ.. ඇඳන් යන්නෙ මොකක්ද කියලා මං මේ බැලුවෙ... ලොකු කොම්පැනියකට යන්න හොඳ ගවුම් එකක්වත් නෑනෙ මං ගාව.. ❜❜ සුදීක්ෂා කණස්සල්ලෙන් හිස කැසුවා... ❛❛ මොකක්ද දැන් ඔය කම්පනි එක? ❜❜ ❛❛ සෙනේ ඇපරල්ද මොකක්ද කිව්වෙ... මං වැඩි විස්තරයක් අහන්න ගියේ නෑ.. රණේ අයියගෙ යාළු මහත්තයෙක් කිව්වනෙ.. ❜❜ ❛❛ යකෝ... ඒක මහ විසාල ගාමන්ට් එකක්.. එකක් නෙවෙයි රට වටේම දහයකට වඩා තියෙනවා මං හිතන්නෙ.. ඔය ගවුම් කෑලි ඇඳන් ගිහින් නිකං නෝණ්ඩි නොවී හොඳ ඇඳුමක් අරං ඇඳන් පලයං... ❜❜ ❛❛ අනේ ඇඳුමක් ගන්න මේ වෙලාවෙ මගෙ අතේ සල්ලි නෑ අක්කෙ.. තියෙන කීයෙන් හරි ඇඳුමක් ගත්තොත් මේ මාසෙ බෝඩිං ගාස්තු ගෙවන්න වෙන්නෙ නෑ....❜❜ ❛❛ ඒකත් එහෙමද... එහෙනම් මෙහෙම කරමු.. මගෙ ගාව සල්ලි ටිකක් තියෙනවා.. අපි ඒකෙන් උ/ඹට හොඳ ඇඳුමක් දෙකක් ගමු කෙල්ලෙ... සෙරෙප්පු නම් ඉතිං මේ මගේ ඒවත් තියෙනවනෙ හොඳ හොඳ පැෂන් වලින්.. ❜❜ ❛❛ අනේ අක්කෙ... ❜❜ ❛❛ අනේ නෙවෙයි ලෑස්ති වෙයං තව රෑ වෙන්න කලින් කඩේ යන්න... උ/ඹ පඩි ගත්තම සතයක්වත් අඩු නොකර මට දියංකො..❜❜ නිල්මිණී ආදරයෙන් සුදීක්ෂාගෙ පිටට තට්ටුවක් දැම්මා.... ❛❛ අනේ අක්කට ගොඩක් පිං අක්කෙ... ❜❜ ❛❛ ඔව් ඔව්.. මේ එක එකාගෙ ඇඟවල් අතගාලා ගන්න සල්ලි වලින් මාත් ඉඳලා හිටලවත් යන තැනකට වැඩක් කරගන්න එපැයි... ලෑස්ති වෙයං ඉක්මනට.... ❜❜ නිල්මිණීගේ සිනහව යට මොකක්දෝ වේදනාවක් සැඟවී තිබුණු බව සුදීක්ෂාට නොතේරුණාම නෙවෙයි... ❛❛ හරි අක්කෙ... විනාඩි දහයක් දෙන්න... ❜❜ ❛❛ ඈ බං සුදීක්ෂො...❜❜ ❛❛ මොකක්ද අක්කෙ? ❜❜ ❛❛ අද අර කොල්ලයි බල්ලයි දිහා බලන් හිටියෙ නැද්ද උ/ඹ....? ❜❜ ❛❛ නෑ අක්කෙ... ඔය ලස්සන ගෙවල් ඇතුළෙ මොන මොන යක්කු ඉන්නවද කවුද දන්නෙ.. ❜❜ සුදක්ෂාගේ සිතෙහි රණේගේ වචන තදින්ම පැළ පදියම් වී තිබුණා... ❛❛ උඹ ඔය චූං පාං කාරයා ගැනත් ඔහොම්මම හිතනවා නම් ඇඟට ගුණයි.. අද කාලෙ මොකෙක්වත් කාලා බලලවත් විශ්වාස කරන්න බෑ... ❜❜ ****************************************** ඉතිං ළමයි මොකද හිතෙන්නෙ? හෙට සුදීක්ෂා අහුවෙයිද රණේගෙ උගුලට..... නැත්නම් නිල්මිණී අක්කගෙ වචන අහලා පරිස්සම් වෙයිද? _මම අහිංසා 🌻
0 Comments
No comments yet. Be the first to comment!